Over the death of a girl standing submerged mountain Aranayaka

පසුගිය 17 වැනිදා අරණායක සාමසර කන්දේ සිදු වු නාය යෑමෙන් පස් කන්දට සහ කබඩ් එකකට යටවී  සිටි දියණියක් අවසන් මොහොතේ බේරා ගැනීමේ පුවතක් වාර්තා වනවා.


මෙලෙස තම ජිවිතය බේරා  ගත් ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එන්.ඩි සෞම්‍යා දිල්කි කුමාරි දියණියයි.


තම බාප්පා සහ ලොකු තාත්තා විසින් ජීවිත පරිත්‍යාගයෙන් දැරියව බේරා ගෙන ඇති අතර මෙම අනතුරෙන් ඇගේ  පියාණන් සහ සහෝදරයෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා.


තම ජිවිතය බේරා  ගත් සෞම්‍යා දිල්කි කුමාරි දියණිය තමන් මුහුණ දුන් එම  අත්දැකීම විස්තර කළේ මෙසේයි.



"සිද්ධිය වෙන දවසේ උදේ ඉඳන් වැහැපු නිසා මම පාඩම් කරමින් කාමරයට වෙලා  හිටියා. කොහොම හරි හවස 5.30 ට විතර හෙළිකොප්ටරයක් එනවා වාගේ ශබ්දයක් මට ඇහුනා. ඒ මොකක්ද කියලා බලන්න මම කාමරයෙන් එළියට ඇවිත් සාලය පැත්තට ආවා. ඒ ඇවිත් ටික වේලාවයි ඉන්න වුණේ. එක පාරම පිපිරීමක් වාගේ ඇවිත් සාලයේ තිබුණු කබඩ් එකට මම හිර වෙලා ලොකු පස් කන්දක් මාගේ ඇඟ  මතට වැටුනා. මේ  සියලූ දේවල් වෙන්න පොඩි වේලාවයි ගියේ.

මේ  සිද්ධිය වුනාට පස්සේ මට ඇහුනා අම්මායි මල්ලියි කෑ ගහනවා බේරාගන්න කියලා.

ඒ වේලාවේ අම්මා අපිට කෑ ගහලා කීවා "පුතේ දුවේ මාව හිර වෙලා ඉන්නේ. උඹලා හැමෝටම පුළුවන් විදිහට එළියට පැන ගන්න" කියලා.ටික වේලාවක් අපි කෑ ගසමින් ඉන්නකොට බාප්පයි මාමායි කෑ ගහගෙන ඇවිත් අම්මායි එක මල්ලි කෙනෙකුයි හිර වෙලා ඉන්නකොට බේර ගත්තා.

ලොකු තාත්තා එනකොටත් මාගේ කොණ්ඩේ ටික විතරයි  පෙන්න තිබිලා තියෙන්නේ. එයා ඇවිත් කොණ්ඩයේ තිබුණු පස් ටික අයින් කරලා කථා කරලා කියලා තිබෙනවා මාව හිර වෙලා  ඉන්නේ කියලා.

එතන තිබුණු කබඩ් එක අයින් කරන්න විදිහකුත් නැහැ. මොකද එහෙම වුනානම් එතන උඩින් තිබ්බ ගල් ටිකයි පස් කන්දයි ඇවිත් මාව යට වෙන්න තිබුණා.

පස්සේ බාප්පා කබඩ් එක කඩන්න හැදුවා.ඒත් මම දැක්කා ඒක කඩන්න බැරිව එයාලා දඟලනවා. ලොකු තාත්තා ළග ගෙදරක තිබුණු චේන්සෝ  එක අරන් ඇවිත් කබඩ්  එක කැපුවා. ඒ කබඩ් එක කපනකොට බාප්පා හයියෙන් කෑ ගහලා කීවා නායක් උඩහින් එනවා කියලා. ඒ වේලාවේ ලොකු තාත්තා කියනවා මට ඇහුනා "මාව ඒ විදිහට දාලා යන්න බෑ. මැරෙනවා නම් අපි සේරම එකට මැරෙමු" කියලා. ගොඩාක්  දඟලලා මාව එළියට ගත්තා."


EmoticonEmoticon