මෙයට අවුරුදු තුනකට පෙර 2013 අප්‍රියෙල් මාසයේ අන්තිම කොටසේ දී හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධනට වැදගත් ඔත්තුවක් ලැබුණේය. ඔත්තුව ගෙනා බුද්ධි නිලධාරියා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ කොළඹ තරු පහේ හෝටලයකදී රත්තරන් කිලෝ 100 ක ගනුදෙනුවක් සිදුවීමට යන බව ය.
ඒවා සොරකම් කරන ලද හෝ කොටි සංවිධානයට අයත් රත්තරන් බවත්, කැරට් 22 ආභරණ ලෙස තිබෙන බවත් තවදුරටත් දැන ගන්නට ලැබිණ. ඒවා ගෙනවුත් තිබුණේ උතුරු පළාතෙනි. කොටි සංවිධානයට රත්තරන් ලැබෙන ක්‍රම දෙකක් විය. පළමු ක්‍රමය වූයේ කොටි හිතවාදී සාමාන්‍ය ජනයා කොටින්ට රන් පරිත්‍යාග කිරීමය.
එසේ නොදෙන අයගෙන් කොටි රන් පැහැර ගැනීම දෙවන ක්‍රමයයි. කෙසේ වුවද මේ කියන කාලයේදී කැරට් 22 රන් කිලෝවක මිල රුපියල් ලක්‍ෂ 50 කි. ඒ අනුව කිලෝ 100 ක මිල රුපියල් ලක්‍ෂ 5000 කි.
මේ පිරිස බඩු හෝ සාම්පල් සමඟ අත්අඩංගුවට ගැනීමට නම් වෙස්‌වළාගත් උපාය දූතයන් ඔවුන් වෙත යෑවිය යුතු බව වාස් ගුණවර්ධන දැන සිටියේය. මැයි මාසයේ 3 වැනිදා වන විට රන් තොගය ළඟ තබාගෙන සිටි අය සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමට පොලිසියට හැකි විය. පසු දින කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ ගනුදෙනු කතා කර ගත හැකි බව ද පණිවුඩයේ සඳහන් විය.
ව්‍යාපාරිකයන් ලෙස වෙස්‌වළාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තරුපහේ හෝටලයට ගිය අතර ඔවුන් එහි කාමරයකට රැගෙන යනු ලැබීය. ඔවුන් සමඟ සාකච්ඡා කළේ මොරටුවේ සිට පැමිණි කාන්තාවකි. රන් කිලෝව රුපියල් ලක්‍ෂ 50 බැගින් මිලදී ගැනීමට එකඟත්වයක් එතැනදී ඇති විය. කෙසේ වුවද මුදල් දෙන්නේ තමන් වෙත බඩු භාරදීමේදී බව පොලිස් නිලධාරීහු කීහ. එම ගනුදෙනුව ගැන තවදුරටත් කතා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව අසල පිහිටි අවන්හලකට යෑමට පොලිසියට සිදුවිය.
අවන්හලට ගිය පොලිසියට දැක ගන්නට ලැබුණේ රටම හඳුනන මුහුණු කිහිපයකි. ඔවුන්ගෙන් එක් අයෙක් හිටපු පොලිස් අධිකාරිවරයෙකි. සෙසු අයගෙන් කෙනෙක් නාවික හමුදා ලොක්‌කෙකි. අනෙකා ශ්‍රී ලංකා යුද හමුදාවේ ලොක්‌කෙකි.
මේ පිරිස සමඟ නුගේගොඩ පිහිටි අවහන්හලකට යෑමට වෙස් වළාගත් පොලිස් නිලධාරීන්ට සිදුවිය. ක්‍රිෂාන්ත නමැති පුද්ගලයෙක් රන් තොගයක් සමඟ එම අවන්හලට එන බව දැන ගන්නට ලැබිණ. එහෙත් ඔහු එහි පැමිණියේ නැත. ක්‍රිෂාන්ත නිතරම බ්‍රිතාන්‍යයට යමින් එමින් ව්‍යාපාර කළ කෙනෙකි. හිටපු පොලිස් ලොක්‌කා සහ හමුදා ප්‍රධානීන් දෙදෙනා ක්‍රිෂාන්ත කන්ටැක්‌ට් කරන්නට උත්සාහ කළ ද ඔහුගේ දුරකථනය වැඩ කළේ නැත.
මේ සමඟම පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේය. පැය 24 ක් ඉක්‌ම යෑමට මත්තෙන් මෙයට සම්බන්ධ 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එයින් එක් සැකකාරියක් සුප්‍රකට ශ්‍රී ලාංකික ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳය.
මේ ක්‍රිකට් ක්‍රීඩකයා එක් කලෙක ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා ලෙස ද කටයුතු කර තිබිණි. මේ පිරිස අත රන් කිලෝ 100 ක් තිබූ බව ද අනාවරණය විය. එහෙත් ස්‌වල්ප කලක් ගත වන විට සිද්ධිය යට ගියේය.
ඉහත සිද්ධියට සම්බන්ධ රත්තරන් ජාවාරම්කරුවන් මූලිකව උත්සාහ කර තිබුණේ රන් තොගය රටින් පිට කිරීමටය. ශ්‍රී ලංකාවෙන් රන් පන්නා ගෙන යන ගමනාන්ත දෙකක් තිබේ. පළමුවැන්න ඉන්දියාවය. දෙවැන්න පාකිස්‌තානයය.
ඉන්දියාවට ගෙන යන රන් එරට ජනතාව සඳහා ආභරණ සෑදීමට යොදා ගනු ලැබේ. කැරට් 22 රන් වැඩි වශයෙන් පාවිච්චි කරන රට ඉන්දියාවය. පාකිස්‌ථානයට යැවෙන රන් බොහෝ විට යන්නේ සන්නද්ධ ඉස්‌ලාමීය අන්තවාදී ත්‍රස්‌ත කල්ලි අතටය. ඔවුහු ඒවා එක්‌කෝ ඉන්දියාවටම විකුණයි. එහෙමත් නැත්නම් ඇෆ්ගනිස්‌ථානයේ සන්නද්ධ කල්ලිවලට දී ආයුධ ලබා ගනිති.
ලංකාවෙන් පන්නන රන් යන තරමක් යන්නේ ගුලි සහ පොලු වශයෙනි. එය රටේ වත්කමක් කිසිදු බද්දක් නොගෙවා රට පැටවීමකි. ආර්ථිකයට මරු පහරක් වන මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා (19 ) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීය.
බැංකුවලට සහ උකස්‌බඩු කඩවලට සින්න වන රත්තරන් ආභරණ තොග වශයෙන් ලබා ගන්නා ව්‍යාපාරිකයන් ඒවා උණුකර ගුලි හෝ පොලු හැඩයට තනා රටින් පන්නන බව එම සාකච්ඡාවට සහභාගි වූ ආරක්‍ෂක අංශ ප්‍රධානීහු හෙළිදරව් කළහ.
මෙයට අවුරුදු හතළිහකට හෝ පනහකට පෙර ඉන්දියාවේ රන් මිල අඩු ය. ඒ බැවින් ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවේ වැල්වැටිතුරේ බලා බෝට්‌ටුවලින් ගෙනෙන රත්තරන් පොලු කොළඹ සිටින රත්තරන් බඩු සාප්පු කාරයන් විසින් මිලට ගනු ලැබීය. අද සිදුවන්නේ එහි අනෙක් පැත්තයි.
(උපුටා ගැනීම දිවයින)

EmoticonEmoticon