නවක වදය නිසා පේරාදෙණිය සිසුවෝ විභාග අසමත් – ඇතැමුන් පාඨමාලාද අතැර ගොසින්

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදය ලබාදීම විශ්ව විද්‍යාලවල නවක සිසුන් විභාග අසමත් වීමට ද හේතුවක් වී ඇතැයි අධ්‍යයනවලින් හෙළි වී තිඛෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙහි ඉකුත් වසර කිහිපය තිස්සේම නවක වදය තදින් ක්‍රියාත්මක වන බවයි එහි ආචාර්යවරුන් පැවසුවේ. මේ නිසා නවක සිසුන් විභාග අසමත් වීමේ ප්‍රතිශතය වැඩි වී ඇතැයි ද ඔවුන් පෙන්වා දුන්නා.
නවක වදය හේතුවෙන් පශු වෛද්‍ය පීඨයට ඇතුළු වීමට සිසුන් මැලිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
නවක වදය හේතුවෙන් ඇතැම් සිසුන් අතරමගදී පාඨමාලාවන් අතහැර යන බවද ඉකුත් වසර 4 ඇතුළත සිසුන් 6 දෙනෙකු පමණ එලෙස පාඨමාලා අතහැර ගොස් ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට ආචාර්යවරුන් ඉකුත්දා අවවාද කර තිඛෙනවා.
මෙහිදී සිසුන්ට මානසික සහ ශාරීරික පීඩාවන් සිදුකෙරුණු බවයි මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.
ඒ අනුව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියක් රෝහල්ගත කිරීමට සිදුවූ බවද ඔවුන් කියා සිටියා.
කෙසේ වෙතත් මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා අවධාරණය කළේ නවක වදය ලබා නොදෙන ලෙස අවවාද කිරීමක් මිස කිසිදු සිසුවෙකුට පීඩාවක් සිදුනොකළ බවයි.
මානසික සහ ශාරීරික පීඩාවන්ට ලක්වන්නේ නවක වදයට ලක්වන සිසුන් බවද ඇය කියා සිටියා.


EmoticonEmoticon