40ක් මිය ගිය මහා ජාතික ආපදාව

දිවයිනේ පළාත් අටක දිස්‌ත්‍රික්‌ක දහනවයකට දින කිහිපයක්‌ තිස්‌සේ බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (18 වැනිදා) සවස්‌ වනවිට පුද්ගලයන් හතළිස්‌ දෙනකු (40) මියගොස්‌ තවත් 120 දෙනකු අතුරුදන්ව තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
පුද්ගලයන් විසිපස්‌දෙනකු මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ ට පැවැසීය.පවුල් අසූදහස්‌ නවසිය විසි හතරකට අයත් පුද්ගලයන් තුන්ලක්‍ෂ පනස්‌ දෙදහස්‌ තුන්සිය හැත්තෑ හතර දෙනකු (3,52,374) ඊයේ (18 වැනිදා) දහවල් වනවිට පීඩාවට පත්ව තිබූ බවත් සඳහන් කළ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවතැන්වූ පවුල් හතළිස්‌ අටදහස්‌ නවසිය අනූඅටකට අයත් පුද්ගලයන් දෙලක්‍ෂ විසිතුන් දහස්‌ හයසිය අසූහතක්‌ (223687 ක්‌) ආරක්‌ෂිත ස්‌ථාන තුන්සිය හැත්තෑපහක්‌ තුළ ස්‌ථානගත කර ඇති බවත් කියා සිටියේය.
මෙම අනතුරු නිසා නිවාස දෙසියවිසිනවයක්‌ (229), පූර්ණ වශයෙන් තවත් නිවාස දෙදහස්‌ හයසිය හතළින් හතක්‌ (2647), අර්ධ වශයෙන්ද හැකිවි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
* වැඩිම බලපෑම බස්‌නාහිරට
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක්‌ සිදුව ඇත්තේ බස්‌නාහිර පළාතට වන අතර එහි පවුල් පනස්‌හයදහස්‌ දෙසියනවයකට (56209) අයත් පුද්ගලයන් දෙලක්‍ෂ පනස්‌තුන්දහස්‌ හාරසිය තිස්‌ නව දෙනකු (253439) පීඩාවට පත්ව සිටිති.
එසේම එහි පවුල් හතළිස්‌ තුන්දහස්‌ පන්සිය හතරකට අයත් පුද්ගලයන් දෙලක්‍ෂ දෙදහස්‌ පන්සිය තිස්‌තුන් දෙනකු ආරක්‌ෂිත කඳවුරු දෙසිය නමයක්‌ වෙතට යොමුකර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
කැලණි ගඟේ ජල මට්‌ටම ඉහළයැම නිසා කැලණි ගං මිටියාවතේ වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු වී. පී. අල්විස්‌ මහතා සඳහන් කළේය.
කැලණි ගඟේ නාගලගම්වීදියේ ජල මාපකයේ ජල මට්‌ටම මීටර් 7 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවත් මෙය විශාල ගංවතුරක්‌ ඇතිවිය හැකි තත්ත්වයක්‌ බවත් හෙතෙම කියා සිටියේය.
පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඊයේ උදේ වනවිට ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 13 ක පවුල් විසිපන්දහස්‌ තුන්සිය හැටඅටක සාමාජිකයන් එක්‌ලක්‍ෂ තුන්දහස්‌ හාරසිය හැත්තෑ දෙනකු අවතැන්ව ඇතැයි ගම්පහ අතිරේක දිසාපති පාලිත වීරකෝන් මහතා පවැසීය.
* කළුතර පවුල් 1259 ක්‌ අවතැන්
අධික වැසි, සුළං හා ගංවතුර හේතුවෙන් ඊයේ (18 දා) දහවල් වනවිට කළුතර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1259 කට අධික සාමාජිකයන් 5371 ක්‌ අවතැන්ව සිටි බව කළුතර දිසා ලේකම් යූ. ඩී, ඩී. ජයලාල් මහතා කීය.
* කුරුගඟත් පිටාර ගලයි
පසුගිය දින තුන ඇතුළත කුරුවිට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් දැඩි සුළඟත් සමඟ නායයැම් නිසා කුරුගඟ පිටාර ගැලීමෙන් ග්‍රාමසේවා වසම් 22 ක නිවාස 100 ක පුද්ගලයන් 4000 ක්‌ පමණ අවතැන්ව ඇතැයි කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
සිව් දිනක්‌ පුරා පැවැති අධික වර්ෂාව හේතුවෙන් බිංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක්‌ තුළ පවුල් තුන්සිය අනූතුනක දෙදහසක පමණ ජනතාවක්‌ අවතැන්ව ඇතැයි බිංගිරිය ප්‍රාදේශීය මහලේකම් එම්.ඩී. සෝරත්න මහතා පැවැසීය.
* ගාල්ලේ එක්‌ මරණයක්‌ 1044 ක්‌ විපතේ
පසුගිය දින කිහිපය තුළ ගාල්ලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ එක්‌ පුද්ගලයකු මියගොස්‌ පවුල් දෙසිය හැත්තෑනවයකට (279) අයත් පුද්ගලයන් එක්‌දහස්‌ හතළිස්‌ හතරක්‌ (1044) විපතට පත්ව ඇතැයි ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය ඇතුළත ග්‍රාමසේවා වසම් 26 ක ඊයේ දහවල් 12.00 වනවිට පවුල් 7397 ක්‌ අවතැන්ව 22700 ක පිරිසක්‌ පීඩාවට පත්ව ඇතැයි කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්. එම්. දයාවතී මහත්මිය පැවැසුවාය.
සිරිමන්ත රත්නසේකර
දිවයින


EmoticonEmoticon