සිසුවෙකුට පහරදුන් ගුරුවරුන් තිදෙනෙක් ගැන පැමිණිල්ලක් -

ගාල්ලේ ජනපි‍්‍රය පාසලක 12 වන ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ගුරුවරුන් තිදෙනෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ විදුහලේ නියෝජ්‍ය  විදුහල්පතිවරු දෙදෙනෙකු සහ විනය භාර ගුරුවරයා එම සිසුවාගේ කම්මුල ඉදිමෙන තුරු පහරදුන් බවටයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. 

පහරකෑමට ලක්වූ ශිෂ්‍යයා කරාපිටිය රෝහලට ඇතුළත් කළද, ගුරුවරුන්ගේ බලපෑම මත දින දෙකකට පසු රෝහලින් ඉවත්ව ගොස් තිබෙනවා. 

රෝහලේදී විනය භාර ගුරුවරයා සිය පුත‍්‍රයාට මරණ තර්ජන එල්ල කර ඇති බවයි පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා පවසන්නේ. 

එම සිසුවා පෞද්ගලික රෝහලට ඊයේ (26) දිනයේ ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල ප‍්‍රදේශයේ බාලිකා පාසලක 4 වැනි ශ්‍රේණියේ දැරියකට ශිෂ්‍යාවන් ලවා ටොකු ඇන්නවූ බව කියන ගුරුවරියක් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළා. 

පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ දැරිය මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා. 

මෙම සිද්ධියෙන් දැරියට යම් පීඩාවක් සිදුව ඇත්දැයි සොයා බලන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.


EmoticonEmoticon