ගං වතුරට යටවුණ තමන්ගෙ ළිඳ නියමාකාරයෙන් පිරිසිදු කරගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. එවැනි ළිඳක වතුර නියමාකාරයෙන් පිරිසිදු කරනොගෙන ළිඳේ ජලය පරිභෝජනය කිරීම උදරාභාධ ඇතුළු ලෙඩ රෝග රැසකට මුළ වෙන්න පුළුවන් බවයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරන්නෙ.
එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා ගංවතුරට යටවුණු ළිඳක් නිසියාකාරව පිරිසිදු කරගතයුතු ක්‍රමය මෙසේ පැහැදිළි කළා.
“සාමාන්‍යයෙන් ළිඳක් ක්ලෝරින්කරණය කරන ආකාරයට, ගං වතුරෙන් යටවුණු ළිඳක් ක්ලෝරීන්කරණය කරල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ගං වතුරෙන් යටවුණු ළිඳකට මුලින්ම ක්ලෝරීන් ග්‍රෑම් 250ක් පමණ ජලයේ දියකර ළිඳට දමා පැය 06ට වැඩි කාලයක් තබන්න. (පැය 24ක් තැබිය හැකිනම් වඩාත් සුදුසුය) අනතුරුව ළිඳේ ජලය හිස්කර ලිං පතුළ හොඳින් පිරිසිදු කරන්න“
අනතුරුව ළිඳ සාමාන්‍ය ලෙස පිරෙන්නට ඉඩ හරින ලෙස රෝහණ මහතා පවසනවා. ළිඳ සුපුරුදු මට්ටමට පිරුණු පසුව මතු සඳහන් සූත්‍රයට අනුව ළිඳෙහි ඇති ජල පරිමාව මැනගෙන ජලය ගැලුම් 1000ට ක්ලෝරීන් අවුන්ස 1ක් හෝ ග්‍රෑම් 28.35ක් (ගිණි පෙට්ටි පියනකින් 1ක්) බැගින් ගෙන හොඳින් දියකර ළිඳට දමන ලෙසත්, අනතුරුව පැය 24ක් ගතවීමෙන් පසු භාවිතයට ගතහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
සාමාන්‍ය ලිඳක් ක්ලෝරීන්කරණය කිරීමෙන් පැය 24කට පසුව බීමට ඇතුළු සමාන්‍ය භාවිතයට සුදුසු වුවද, ගංවතුරෙන් යටවූ ළිඳක බොහෝ විෂබීජ තිබිය හැකි බැවින් මසක්වත් ගතවනතුරු ජලය උණුකර නිවා භාවිත කරන ලෙසද ඔහු අවධාරණය කරනවා.

EmoticonEmoticon