හිමිනමක් රෝහලට යැවූ පොලිසියේ හෙල්මට් පහර

පොලිස් නිලධාරියෙකු විසින් ආරක්ෂිත හිස් වැසුමකින් පහර දුන් බව කියමින් ස්වාමීන් වහන්සේ නමක්  ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.


මෙලෙස රෝහල් ගත වී ඇත්තේ දංකොටුව - මැල්ලව ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ විහාරවාසී යක්දෙස්සාවේ සෝමාලෝක ස්වාමීන් වහන්සේයි.


දංකොටුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 24 වැනිදා රාත්‍රී මුර සංචාරක  රාජකාරියේ නිරත වෙමින් සිටින විට මැල්ලව ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගත් එම පුද්ගලයාව පොලීසිය වෙත රැගෙන යාමට පොලිස් නිලධාරීන් සුදානම් වන විට එම ස්ථානයට පැමිණ ඇති පහර කෑමට ලක්වූ බව කියන ස්වාමීන් වහන්සේ ඊට විරෝධය පල කර ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු විසින් තම අත තිබූ ආරක්ෂිත හිස් වැසුමකින් ස්වාමීන් වහන්සේට පහරදී ඇති බවට වාර්තා පළ වනවා.


මෙම සිද්ධියෙන් පසුව විහාරස්ථානයට එක්වී ඇති ගම්වැසියන් පහර කෑමට ලක්වූ ස්වාමීන් වහන්සේව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.


EmoticonEmoticon