නිරිතදිග මෝසමෙන් තවත් ගංවතුරක් එයිද ?

රෝනු සුළි කුණාටුව ශී‍්‍ර ලංකාවෙන් බැහැරට යාමෙන් පසු දැන් නිරිත දිග මෝසම ක‍්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන්. 

ඉකුත් වසරවල දත්ත සමග සැසඳීමේදී මෙමගින් ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි නෙත් නිවුස් වැඩිදුර විමසීමක් කළා. මේ ඊට පිළිතුරු දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා.

"සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ මැයි මාසයේ අවසන් සතියෙදී පමණ නිරිත දිග මෝසම ලංකාව හරහා ස්ථාපනය වෙනවා. නිරිත දිග මෝසම  සමහර අවුරුදුවල සක්‍රීයත්වයෙන් අඩුයි. ඒ කියන්නේ වර්ෂාපතනය අඩුයි. තවත් අවුරුදු වල වර්ෂාපතනය වැඩියෙන් ලැබෙනවා. ඒ වගේම නිරිත දිග මෝසමෙත් වෙනස්කම් තිබෙනවා. මේ අවුරුද්දෙදි අපි බලාපොරොත්තු වෙනවා නිරිත දිග මෝසම සාමාන්‍ය ආකාරයෙන් පවතී කියලා".
 
මහවැසි හේතුවෙන් ඉකුත් දිනවල ඇතිවූ ජල ගැලීම් මේ වන විට ක‍්‍රමයෙන් පහව යමින් තිබෙනවා. 

කෙසේ වෙතත් නිරිත දිග මෝසම ස්ථාපිත වීමෙන් පසු නැවතත් මහවැසි ඇද හැලී ජල ගැලීමක් ඇතිවනු ඇත්දැයි ඇතැම් පිරිස් තුළ පවතින්නේ ප‍්‍රබල සැකයක්. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ඒ සම්බන්දයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

"දැනට තිබෙන තත්ත්වය අනුව කැලණි ගඟේ ජල මට්ටම සීඝයෙන් පහත බසිමින් පවතිනවා. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම ස්ථාපනය වුණාට පස්සේ ලංකාවේ නිරිත දිග කොටසට තමයි වර්ෂාපතනය ලැබෙන්නේ. එම තත්ත්වය යටතේ නිරිත දිග මෝසම ස්ථාපනය වුණා කියලා හැම අවස්ථාවකදීම ගංවතුරක් ඇතිවෙනවා කියලා එකක් නැහැ. එම නිසා බියක් ඇති කර ගත යුතු නැහැ ගංවතුර තර්ජනය තවත් වැඩිවෙයි කියලා". 


EmoticonEmoticon