මේ වසරේ පළමු මාස තුන ඇතුළත පමණක් තවත් එච් අයි වී ආසාදිතයන් හැට අට දෙනෙකු හඳුනා ගෙන ඇති බව නවතම සෞඛ්‍ය වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.
මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වූ HIV ආසාදිතයන්ගේ මුළු ගණන 2377 දක්වා ඉහල ගොස් ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ.
ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිතයෙකු මුල් වරට හඳුනා ගැනුණේ 1986 වසරේදී යි.
ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමට ප්‍රධාන හේතුව ඒ සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂාවන් වැඩි වශයෙන් සිදු කිරීමට දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා කියා සිටියේ.
'HIV සඳහා වැඩිපුර රුධිර පරීක්ෂාවන් කරන තරමට ආසාදිතයන් හමු වීම වැඩියි. අවදානම් සහගත චර්යා තිබෙන සමාජ කණ්ඩායම් සොයා ගෙන ගිහින් ඔවුන්ගේ රුධිරය පරීක්ෂා කරන තත්වයක් දැන් තියෙනවා. නමුත් අලුතින් රෝගයට ගොදුරු වූ අය වැඩි වීම මේ වර්ධනයට හේතුවක් නොවේය කියල මට කියන්න බැහැ. එකත් හේතුවක් විය හැකියි.' ඔහු පවසනවා.
මෙතෙක් සොයා ගෙන ඇති ආසාදිතයන්ගෙන් බහුතරය පුරුෂයන් බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.
'පිරිමි, පිරිමි අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම් හරහා මේකෙ ව්‍යාප්තියක් සිදුවන බවට හිතන්න පුළුවන් යම් යම් සාධක මතුවෙමින් තියෙනවා.' විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය ඉතා පහල මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
(BBC ඇසුරිනි)
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon