කොන්ද බේරගෙන යතුරුපැදියේ යන්න ක්‍රමයක් මෙන්න

යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවන සංකූලතා බොහෝ දෙනෙකුට පීඩා ගෙනෙනවා. මේ වන විට යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම කාන්තාවන් අතරද බහුලව දක්නට ලැබෙන්නක්.

එම සංකූලතා මෙම දෙපාර්ශ්වයටම මඟ හරවා ගත හැකි ‘වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු එක්ව නිර්මාණය කර තිබෙනවා.

මේ පිළිබඳව වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු වසර ගණනාවක සිට පර්යේෂණ පැවැත්වුවා. යතුරුපැදි භාවිත කරන්නන්ට සුවපහසු  වායු පීඩන කවරයක් හඳුන්වා දෙන්නට ඔවුන්ට හැකි වුයේ ඒ අනුවයි. ඒ සඳහා තවත් තාක්‍ෂණ නිලධාරීන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සහයෝගය ලබාදී තිබෙනවා. මේ නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඉදිරියේදී ජනතාවට හඳුන්වාදීමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොඳු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇති විය හැකි බවයි ඒ ආශ්‍රිත සමීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ. 

විශේෂයෙන් අබලන් වූ දුෂ්කර මාර්ගවල (වලගොඩැලි මතින්) යතුරුපැදිය ධාවනය කරන විට කොඳු ඇටපෙළට ඇති කෙරෙන පීඩනය උරා ගැනීම සඳහා යතුරුපැදියේ ෂොක් ඇබ්සෝබර් පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ නම් මෙම තත්ත්වය වැඩි වශයෙන් ඇති විය හැකි බවත් අනාවරණය වී තිබෙනවා.

යතුරු පැදියක වාඩි වූ සැනින් ඔබේ උකුල් වැඩිපුර පසුපසට කර කැවෙනවා. ඒ සමඟම කොඳු ඇට පෙළේ කටී වක‍්‍රය අනවශ්‍ය ලෙස අඩුවී කම්පනය නිසා ඇතිවන පීඩනය සම්පූර්ණයෙන්ම අන්තර් කශේරුකා මඬල වෙතට පතිතවීම සිදුවෙනවා. මේ සමඟම කොඳු ඇටපෙළ ආශ‍්‍රිත මෘදු පටකවලට හානිවී භයානක තත්ත්වයක් දක්වා දීර්ඝකාලීනව වර්ධනයවීමට හැකියාව තිබෙන බවයි විශේෂඥයින් පවසන්නේ. දීර්ඝකාලීනව කොඳු ඇට පෙළ වකුටුවී විරූපී ස්වරූපයක් ඇතිවීමටත්, උදරය එල්ලා වැටීමටත් මෙය එක් හේතුවක් වෙනවා.

තව දුරටත් යතුරු පැදියේ වාඩිවී ගමන් කරන විට තෙරපුමට ලක්ව උකුල් අස්ථි කොටස් මතට දැඩි තෙරපුමක් ඇතිවෙනවා. මෙම අස්ථි කොටස් යටින් ස්නායු, රුධිර නාල (ධමනි හා ශිරා) පීඩනයට ලක්වීම නිසා දෙපා හිරිවැටීම හා තට්ටම් පෙදෙස් වේදනාවට ලක්වීම මෙම ලිපිය කියවන බොහෝ දෙනෙකුටත් අත්දැකීම් තිබෙන්නට පුළුවන්. මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට ඇති විය හැකියි. ඒ අනුව කාන්තාවන් යතුරුපැදියේ ගමන් කරන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.




EmoticonEmoticon