ප‍්‍රදේශ රැසක් ජලයෙන් යට කරමින් පිටාර ගැලූ කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.
නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (22) සවස 6.00ට අඩි 5යි අඟල් එකක් වූ අතර රාත‍්‍රී 9.00 වන විට එය සඳහන් වූයේ අඩි 4යි අඟල් 5ක් ලෙසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7ක් දක්වා ඉහළ ගියහොත් කැලණි ගඟ එම ප‍්‍රදේශයේදී පිටාර ගලා විශාල ගංවතුර තත්ත්වයක් ඇති වනවා.
සුළු ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ එහි ජල මට්ටම අඩි 5ක් දක්වා ඉහළ ගියහොත්. ඒ අනුව නාගලගම්වීදිය ජල මාපකයට අනුව කැලණි ගඟේ ජල මට්ටම දැන් පවතින්නේ සුළු ගංවතුර තත්ත්වයටත් වඩා අඩු අගයකයි.
කෙසේ වෙතත් ගංවතුර අවදානම පහව යාමට නම් එහි ජල මට්ටම අඩි 4කට වඩා අඩුවිය යුතු වනවා. හංවැල්ල , ග්ලේන්කෝස්, හොලොම්බුව, දැරණියගල, කිතුල්ගල සහ නෝර්වුඩ් යන ප‍්‍රදේශවලදී නම් කැලණි ගඟ තවදුරටත් පිටාර ගැලීමේ අවදානම දැනටමත් පහව ගොස් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කළු ගඟ, මිල්ලකන්ද ප‍්‍රදේශයේදී පමණක් තවමත් සුළු ගංවතුර තත්ත්වයේ පවතිනවා. එහි ජල මට්ටම ඊයේ (22) රාත‍්‍රී 9.00 වන විට සටහන් වූයේ මීටර් 5යි දශම 7යි 4ක් ලෙසයි. සුළු ගංවතුර තත්ත්වය ද පහව යාමට නම් එය මීටර් 3යි දශම 5ක් දක්වා අඩු විය යුතු වනවා.
පුටුපාවුල ප‍්‍රදේශයේදී කළු ගඟ පවතින්නේ ගංවතුර අවදානම් තත්ත්වයේයි. රත්නපුර සහ ඇල්ලගාව යන ප‍්‍රදේශවලදී කළු ගඟ පිටාර ගැලීමේ අවදානම පහව ගොස් තිබෙනවා.

EmoticonEmoticon