දිවයිනේ ප‍්‍රදේශ රැසකට අධික වැසි ලැබීමත් සමගම ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොහෝ ජලාශවල වාන් දොරටුද විවෘත කර ඇති බවයි.
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06 න් 04 ක් අද (15) උදෑසන 10.00 ට විවෘත කෙරුණා. ජලාශය භාර ඉංජිනේරු සහ තිස්සමහාරාම වාරි ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා ප‍්‍රකාශ කළේ මේ නිසා මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි. වාන් දොරටු විවෘත කිරීම නිසා තත්පරයට ඝන අඩි දහසක පමණ ජල ධාරිතාවක් මැණික් ගඟට මුදා හැරෙනවා.
මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු පහක්ද අද උදෑසන විවෘත කෙරුණා. මේ නිසා දැදුරුඔය ජල මට්ටම ඉහළ යා හැකි බැවින් අවට පදිංචිකරුවන් වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි පුත්තලම දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.
අධික වැසි හේතුවෙන් ඉඟිනිමිටිය, රාජාංගණය සහ තබ්බෝව යන ජලාශවලද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් අධික වැසි ලැබුන හොත් එම ජලාශවලද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කළේ.
කලා ඔයේ ජල මට්ටම පිටාර ගැලීම නිසා පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට එළුවන්කුලම ප‍්‍රදේ්ශයේදී බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටද ඊයේ (14) රාත‍්‍රියේ සිට තවදුරටත් අධික වර්ෂාපතනයක් පවතිනවා. නෝර්වුඞ්, බගවන්තලාව, ආගරපතන, කොටගල, හැටන්, මස්කෙලිය සහ නල්ලතන්නිය යන ප‍්‍රදේශවලට එලෙස අධික වැසි ලැබෙන බවයි වාර්තා වන්නේ.
වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේත් දැඩි මීදුම් තත්ත්වයක් පවතිනවා. මේ නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ප‍්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. අධික වර්ෂාව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ ඉතා මන්දගාමීවයි. මේ නිසා දුම්රිය ප‍්‍රමාදයක්ද සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.
මේ අතර දිවයින අවට පැවති කැළිඹිලි ස්වාභාවය පීඩන අවපාතයක් බවට පත්වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ මේ නිසා වැසි සහ වැසි සහිත සුළං තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවන වැසි අපේක්ෂා කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
ඊයේ රාත‍්‍රියේ සිට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ සියළු ජනතාව දැඩි සැළකිල්ලකින් පසුවිය යුතු බවයි. ආපදා තොරතුරු 117 අංකය ඔස්සේ දැනගත හැකි බවත් සඳහන් කළා.
පවතින අධික වැසි තත්ත්වය ඉදිරි පැය 24 පුරාද පැවතියහොත් බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක නාය යාමේ අවදානමක් පවතින බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පස්සර, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ඌව පරණගම සහ හල්දුම්මුල්ල යන ප‍්‍රදේශවලට මෙම අවදානම පවතින බවයි.
එමෙන්ම ලුණුගල, හපුතලේ, වැලිමඩ සහ සොරනාතොට යන ප‍්‍රදේශවලටද මෙම අවදානම පවතිනවා. මොනරාගල දිස්ත‍්‍රික්කයටද නායයාමේ අවදානමක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.
තවද මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවලටද නායයෑමේ අවධානමක් පවතින බවයි වාර්තා වුණේ.

EmoticonEmoticon