ෆෙඩරල් යෝජනාව ගැන සාකච්ඡා නෑ - ආණ්ඩුව කියයි

ෆෙඩරල් පාලනයක් ඉල්ලා උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද අද (25) අදහස් පළ කළා. ඒ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි ස්ථාවරය තමයි අපි කිසිසේත්ම ෆෙඩරල් ක්‍රමයකට එකඟ නැහැ. ඒ ගැන අපි සාකච්ඡා කරන්න සූදානමකුත් නැහැ. අපිට තියෙන්නේ 13 වෙනි සංශෝධනය දිහා බලලා 13නේ සංශෝධනයෙන් පළාත් සභාවට දෙන පහසුකම් තාම දීලා නැත්තන්, ඒවා ක්‍රියාත්මක වෙන්නැත්තන් ඒ පහසුකම් සලසලා දෙන්න. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කිසිසේත්ම අපිට ඉඩ කඩ දෙන්න බැහැ".

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද මහින්ද සමරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා. 

"මට ආරංචි හැටියට එතුමට මේ වෙනකොටත්  කියලා තියෙනවා මින් ඉදිරියට කොහෙට හරි කෑම්ප් එකකට යන්න ඕනෙනම් අපිට කියන්න. මින් ඉදිරියට මන් හිතන්නේ එතුමා ඒ අනුව කටයුතු කරයි.

එතුමා දැනුම් දීමකින් තොරවයි එතනට ගිහිල්ලා තියෙන්නේ. කිසිම කෙනෙක් එතුමාව පිළිගන්න ලෑස්තිවෙලා හිටියේ නැහැ. පොලිසිය ඇවිල්ල එතන කිව්වහම අහවලයි ඉන්නේ අපිට ඇතුලට යන්න ඕනේ කියලා , කවුරුහරි එතන ඉන්න කෙනෙක් බැරියර් එක උස්සලා ඇතුළට ගෙනියලා තියෙනවා.

මෙතන මේ අවි ආයුද අරන් නෙමෙයිනේ ගිහින් තියෙන්නේ. හමුදා කඳවුරට ගහන්න නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ. එතුමාට එතනට යන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා මම දන්නැහැ මොකක්ද අවශ්‍යතාවය කියලා.

මම කියන්නේ මින් ඉදිරියට එතුමාට පමණක් නෙමෙයි ඕනෙම කෙනෙකුට හමුදා කඳවුරකට යන්න ඕනෙනම් කරුණාකරලා හමුදාපතිට කතාකරන්න නැත්නම් එතන ඉන්න ප්‍රධානියාට කතා කරන්න ඊට පස්සේ ඒ පහසුකම් සලසයි".

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ආර්. සම්බන්ධන් මහතා තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු සහ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළු වීම වගකීම් විරහිත කි‍්‍රයාවක් බවයි.

එවැනි ආක‍්‍රමණශීලී හැසිරීමක් විපක්ෂ නායකවරයාට නොගැලපෙන බවද ජාතික හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 


EmoticonEmoticon