වකුගඩු බද්ධ කිරීම් ගැන ඇත්ත දත්ත එළියට

2013 සිට 2015 දක්වා කාලසීමාවේදී වකුගඩු බද්ධ කිරීම්  1624 ක් ශ‍්‍රී ලංකාවේ සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේවායින් සැත්කම් 1126 ක්ම සිදුකර ඇත්තේ විදේශිකයින්ටයි.

ශ‍්‍රී ලාංකිකයින් සඳහා සිදුකර ඇති වකුගඩු බද්ධ කිරීම් ගණන 498 ක්. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වීමත් සමග විදේශිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීම තාවකාලිකව තහනම් කෙරුණා. ඒ අනුව ශ‍්‍රී ලාංකිකයින් සඳහා පමණක් තවදුරටත් මෙම සැත්කම් සිදුකෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. 

වකුගඩු බද්ධ කිරීම සිදුකෙරෙන්නේ පෞද්ගලික රෝහලක නම් ඒවා අධීක්ෂණය කිරීමට ආචාරධර්ම කමිටුවක් ද කි‍්‍රයාත්මක වනවා.  නීතිඥවරයෙකු ද ඊට ඇතුළත්. රෝගියාගෙන් දිවුරුම් ප‍්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය තොරතුරු ද ඇතුළත් ලිපි ගොනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරිය වෙත යොමු කෙරෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු විසින් ද මෙම ලිපි ගොනුව අධ්‍යයනය කිරීමෙන් පසුවයි සැත්කම සඳහා අවසර ලබාදීම සිදුවන්නේ. කිසියම් ජාවාරමක් සිදුවීම වැළැක්වීමේ අදහසින් මෙම යාන්ත‍්‍රණය සකස් කර තිබෙනවා. 



EmoticonEmoticon