ශාන්තිකර්මයකින් පසු කාන්තාවක් මියගිය පුවතක් අනුරාධපුරයෙන් ඉකුත් දා වාර්තා වුණා. මෙම මරණය සිදුවී ඇත්තේ දෙහි බෑයක් ඇගේ උගුරේ සිරවී හුස්ම ගැනීමට නොහැකි වීමෙන් බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.එන්. සේනානායක මහතා අද (04) තීරණය කළා.
ඒ, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි. දේහයේ පහරදීම් සහ පිළිස්සීම් තුවාල ද 20ත් 30ත් අතර ප‍්‍රමාණයක් මෙහිදී හඳුනාගෙන තිබෙනවා.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා පවසන්නේ ආරූඪ වී ඇතැයි පැවසූ යක්ෂකයෙකු පන්නා දැමීම සඳහා යකදුරා විසින් සිය බිරිඳගේ මුඛයට දෙහිබෑයක් ඔබා සවලකින් ඇගේ රහස් ප‍්‍රදේශවලට පහරදුන් බවයි.
දෙහිබෑය ගිලගැනීමට නොහැකි වීම නිසා යකදුරා ගිරයකින් සිය බිරිඳගේ මුඛයට ද පොල්මල්වලින් ඇගේ හිසටද පහරදුන් බවද ගිනි පන්දම්වලින් සිය බිරිඳගේ සිරුරේ ඇතැම් ස්ථාන පිළිස්සු බවද ඔහු පවසනවා.
යකදුරා සහ සහයකයින් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනවා. මියගිය කාන්තාව 36වන වියේ පසුවූ එක්දරු මවක්.


EmoticonEmoticon