IPL බලාපොරොත්තුව ගැන මාලිංග කතා කරයි

එළැඹෙන අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලිය සඳහා තමන්ගේ සහභාගීත්වය සිදු වන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අද (07) නෙත් නිවුස් සමග කරුණු අනාවරණය කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මෙවර අයි.පී.එල් කි‍්‍රකට් තරගාවලිය සඳහා සිය සහභාගිත්වය තවමත් අවිනිශ්චිත බවයි. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ගේ පාදයේ ආබාධය සුව වීමේ නිශ්චිත කාලයක් තවමත් කිව නොහැකි බවයි.

ඉකුත්දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා මාලිංග සම්බන්ධයෙන්  අදහස් පළ කරමින් සඳහන් කළේ මාලිංග ක්‍රීඩා කිරීමට සුදුසු වන්නේ කුමණ තරඟවලදී දැයි තවත් ටික කාලයකින් දැකගත හැකි වනු ඇති බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මාලිංග පවසන්නේ මීට පෙරද තමන්ට මෙම පාදයේ ආබාධ තත්වය හට ගැනීම නිසා වසර දෙකක් තමාට කි‍්‍රකට් පිටියෙන් ඉවත්වීමට සිදු වූ බවයි. පාදයේ ආබාධය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඖෂධ ලබාදී ඇති බවද මාලිංග නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

තමාගේ ආබාධ තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පවා ඉකුත් සමයේ ආරාධනා කළ බවත් ඊට පවා තමා එකඟ නොවූ බවත් ඔහු කියා සිටියා. කෙසේවෙතත් තමාගේ ආබාධයේ තත්ත්වය ජනතාවට තේරුම් කළ නොහැකි පසුබිමක කාලයට ඉඩදී බලා සිටීමට සිදු ඇති බවත් මාලිංග සඳහන් කළා.


EmoticonEmoticon